Wednesday, February 24, 2021

කැමැත්ත හා ආදරය.....

 





නිවී යන තරු කැකුලු 
කඳුළු කැට වගුරුවයි ........
පෙරී එන හිරුකිරණ 
සිනහාමල් විසුරුවයි..........

පිණි සේල දැවටි ගත
සිහිලකින් කිතිකැවෙයි .....
මා වටා පිරි සුවඳ
හදම සුවපත් කෙරෙයි ......

ඕනිනම් නම් දුර ඉඳන්
මල් සුවඳ විඳගන්න............
එවන්නම් ඒ සුවඳ  
සෙනෙහසින් රැකගන්න.....

කැමති නම් මල් වලට 
මලම දෝතට ගන්න .........
ආදරේ නම් මලට
සෙනෙහසින් සුරකින්න.....


........ රේණු ........

සිනහ මල් පොකුරක්


සිතුවිලි සිහිනයක් දිගේ 
පාවෙන්නෙමි අහස් ගඟේ ..... 
එපිටින් මේකුළු තීරේ 
නුඹේ සිනා හඬ විසිරේ ..... 

දිදුලන තරු මල් අතරේ
සඳ කුමරුයි කෝළ වුණේ ..... 
නොගැටෙන්නට නෙත ආයෙත් 
ඇයි තරුකැට වහං වුණේ ..... 

පොකුරක්  තරු කඩා වැටේ 
දෝතට ගන්නටම සිතේ .....
දැනුනෝතින් සඳ කුමරුට
කුමක් කියා දැයි නොසිතේ ..... 

සඳ තරුමල් සිනාසුනත් 
අඳුරක්මයි සිත දැනුනේ ..... 
නුඹේ සිනහ මල් පොකුරෙනි 
මගෙ සිතුවිලි එළිය වුණේ .....


........රේණු..........

සිතනු එපා අහිතක් නම්....

 


කොහෙදෝ සිට පාවී එන
සුසුම් පොඳක ඇවිටිල්ලෙන් ........
හිත හෙමින්ම ඉගිලෙනවා
ළබැඳි සුසුමෙ දැවටීමෙන් .............

සුසුම් පොදට මුසුවීලා
තැවුල් හැඟුම් නිවාලමින් .............
හිත හෙමිහිට මුමුණනවා
අකුරු වැලක් සෙනේහයෙන් .......

ගහ කොලේක මල් පෙත්තක
සුවඳ විඳිමි ආදරයෙන් ..................
පිනි වැස්සෙම මද පවනක
සැඟවෙන්නෙමි ආදරයෙන් .........

හඬන හිතක් සනසාලන
හිතක් ලැබුවෙ පෙර පිනකින් ......
එසිත ඉගිලිලා යන්නෙම
තැවුල් නිවන්නට සතුටින් .............

හැමදාමත් හිත හිඳීවි
දුක් සුසුමන් ළඟ රැඳෙමින් .............
හිත රැඳුනට හිතන්නෙපා
අහිතක් නම් මා වෙනුවෙන් ............

........රේණු..........


අමාවක.....

කවියකට මුලකුරක්
සොයා එන්නම් කියා ........
ඇසිල්ලෙන් මගේ සිත
මාව තනිකර ගියා ...........

හිනැහෙන්න රෑ අහසෙ
කිසිවක්ම නැහැ කියා .........
සිත දුවන් එනවානෙ
අමාවක ළඟ කියා ................

දරු තිදෙනා ඔහු සමඟ
මගේ ළඟ නැවතුණා ............
තරු කැටයි පුන්සඳයි
මෙතැන බව සිහිවුණා ........


........රේණු..........

කැමතිනම්....?


කියවලා හොඳටෝම
හරිහැටිම දැනගන්න ...................
කැමතියි ද මොහොතකට
නුඹගෙ සිත මට දෙන්න ...............

විසුරුවා මගෙ සිතත්
විටින් විට ඉගිලෙන්න ..................
නිබඳ ඉඩ දුන්නානෙ
හැකිවුණිද කියවන්න .................

සෙනෙහසින් නිරතුරුව
ජීවිතයෙ හිනැහෙන්න..................
කියෙව්වා නම් සිතම
යළිඳු ආපසු දෙන්න ......................

නුඹෙ සිතත් නොවැරදිම
කියෙව්වට පසු ගන්න .................
තබාගෙන මතකයෙම
තිබු තැනම රඳවන්න ..................

........රේණු..........

මට සිතෙයි......



හිතේ රැඳි හැඟුම් පොදි
විසිරුවන්නට සිතෙයි .........
හදේ දොරඟුලු සෙමින්
ඇර දමන්නට සිතෙයි ...........

දැවටිලා සිහිනයක
පාවි එන්නට සිතෙයි ..........
නුඹේ හිත ළඟින් හිඳ
සිනාසෙන්නට සිතෙයි .........

සිනා අහුරක් මුවඟ
රඳවන්න මට සිතෙයි ..........
නුඹෙ වතේ එළියෙන්ම
සැනසෙන්න මට සිතෙයි ........

........රේණු..........